කේවල ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට මෙවර අපේ ඡන්ද දායකයන්ට නැවත අවස්ථාව ලැබී තිබෙනවා. කේවල ක්‍රමයකට මින් ඉහත අවසන් වතාවට මැතිවරණයක් පැවැත්වුණේ 1977 දී පැවැති මහ මැතිවරණය. ඒ මැතිවරණයෙන් අපේ එක්සත් ජාතික පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තා.
එවැනි විශාල ජයග්‍රහණයක් ලබා අගමැති ධූරයට පත්ව පසුව මෙරට ප්‍රථම විධායක ජනාධිපති බවට පත්වූ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට මැතිවරණ ක්‍රියාදාමය ගැන අධ්‍යයනය කර තිබුණා. ඒ අනුව තමයි එතුමා එදා සමානුපාතික ක්‍රමය මේ රටට හඳුන්වා දුන්නේ. නමුත් එදා ඒ ක්‍රමයේ ඇති වැදගත්කම හරිහැට තේරුම් නොගත් ඇතැම් පුද්ගලයන් අදටත් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාට දෝෂාරෝපණය කරනවා.
ඇයි එක්සත් ජාතික පක්ෂය මේ රටට කේවල ක්‍රමය වෙනුවට සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්නේ. එය ඉතා සරල අයුරින් මා පැහැදිලි කරන්නම්. අපි 1977 මහ මැතිවරණය ගනිමු. එදා ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතය සැළකූ විට මේ රටේ ජනතා අභිලාෂයට සරිලන ආකාරයෙන් පාර්ලිමේන්තු නියෝජනයක් සිදු නොවූ බව ඉතාමත් පැහැදිලියි. ජනතාවගේ පරමාධිපත්‍යය නිවැරදිව නියෝජනය විය යුතුයැයි කියන ස්ථාවරයේ සිටිමින් තමයි ජයවර්ධන මැතිතුමා සමානුපාතික ක්‍රමය ගෙනාවේ.
ඔබට මතක ඇති. ඔබ අසා ඇති. 1977 දී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ හයෙන් පහක විශාල බලයක් හිමිකරගන්නවා. ඒ ආසන 154ට තරඟ කරමින් ඉන් ආසන 140ක් ජය ගනිමින්. නමුත් එක්සත් ජාතික පක්ෂයට එදා මැතිවරණයෙන් සමස්ථ ශ්‍රී ලංකාවේ ම ඡන්ද දායකයන්ගෙන් සියයට 51ක් පමණයි ඡන්දය ලබා දී තිබුණේ. ඒ ප්‍රමාණය 31,79,221ක්. එදා අපේ ප්‍රධාන විරුද්ධවාදියා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ආසන 169න් 147ට තරඟ කරලා දිනා ගන්නේ ආසන 08ක් පමණයි. නමුත් සමස්ථ ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 18,55,331ක් ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිතා කරලා තිබුණා. එය සියයට 35ට ආසන්න ප්‍රමාණයක්. මේ රටේ වාමාංශික පක්ෂ සියල්ල සියයට අටකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් හිමිකරගෙන තිබුණා. නමුත් එකම මන්ත්‍රීවරයකුවත් පාර්ලිමේන්තුව නියෝජනයට අවස්ථාව ලැබුණේ නැහැ.
ද්‍රවිඪ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 23ට පමණක් තරඟ කරමින් ඉන් ආසන 18ක් ජයගත්තේ ඡන්ද 3,39,043ක් පමණක් ලබා ගනිමින්. එය සමස්ථ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හතරකට ආසන්න ප්‍රමාණයක් පමණයි.
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා මේ ඡන්ද ප්‍රතිඵලයේ ජනතා පරමාධිපත්‍ය බලය නිසිලෙස නියෝජනය නොවන ආකාරය හොඳින් දුටුවා.
ඡන්ද ලක්ෂ 31ට වැඩිය ලැබූ එක්සත් ජාතික පක්ෂයට ආසන 140ක් ලැබෙද්දී ඡන්ද ලක්ෂ 18ට වඩා ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 08 ක් හා ඡන්ද ලක්ෂ තුනකට මදක් වැඩියෙන් ලැබූ ද්‍රවිඪ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් දිනා ගනිමින් මේ රටේ විපක්ෂ නායක ධූරය පවා හිමිකරගත්තා. එය සැබෑ ජනතා කැමැත්ත විකෘත්ති වීමක් බව අපේ පක්ෂයේ නායකයන් හොඳින්ම අවබෝධ කරගෙන තිබුණා.
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා සමානුපාතික ක්‍රමය හඳුන්වාදුන්නේ මෙන්න මේ ආකාරයට සැබෑ ජනතා කැමැත්ත විකෘති වීම වැළැක්වීමට. එතුමාට අවශ්‍ය වුණේ පරාජයට පත්වන අයගේ ඡන්දයටත් වටිනාකමක් එක්කරන්න.
1978 දී මේ කේවල ක්‍රමය වෙනුවට සමානුපාතික ක්‍රමය හඳුන්වාදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේ මේ නිසා. නමුත් එදා මනාප ක්‍රමයක් හඳුන්වා දුන්නේ නැහැ. මනාප ක්‍රමය ආවේ ඊට පසු කාලයක. මේ නව ක්‍රමයෙන් බෝනස් ආසන නමින් ද ක්‍රමයක් හඳුන්වා දී ඒ ඒ දිස්ත්‍රික්කවල ජය ගන්නා පක්ෂය වඩාත් ශක්තිමත් කර පාර්ලිමේන්තු බලය ස්ථාවර කිරීමේ කාර්යය ද සිදුකළා.
එදා ජේ.ආර්. ක්‍රමයේ දී මන්ත්‍රීවරයා තෝරාගැනීම කළේ ලැයිස්තු ක්‍රමයකට. මනාපය තිබුණේ නැහැ. මේ නිසා පක්ෂ නායකයාගේ ලැයිස්තුව විනා ජනතා කැමැත්ත මත මන්ත්‍රී තේරෙන්නේ නැතැයි චෝදනා එල්ල වුණා. එය වඩාත් සාධාරණ විය යුතුයැයි ද යෝජනා ඉදිරිපත් වුණා. කලින් පාර්ලිමේන්තුවට මන්ත්‍රී වරයකු තේරීමට තිබිය යුතු අවම ප්‍රතිශතය 12.5ක් වූ අතර එය ඉහළ අගයක් බවත් සියයට පහ දක්වා එය අඩු කළ යුතු බවටත් යෝජනා කෙරුණා. අවසානයේ සිදුවූයේ තවත් සංශෝධනයක් මගින් පසු කළෙක සමානුපාතික ක්‍රමය හඳුන්වාදීම. ඡන්ද දායකයාට තම මකැමැත්ත අනුව මන්ත්‍රීවරු තෝරාගැනීමට අවස්ථාවක් ඉන් උදාවුණා. උදාහරණක් ලෙස ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ ආසන 10ක් සඳහා එක් පක්ෂයකින් අපේක්ෂකයන් 13 දෙනකු නම් කළා. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන අයට හැකියාව තිබුණා තමන්ගේ කැමැත්ත තුන් දෙනෙකුට ලබා දීමට. දිස්ත්‍රික්කය පුරා මනාප ගණන් කර එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික්කයෙන් හිමි වූ ආසන සංඛ්‍යාවට අනුව වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත්තා. (පසුව පළාත් සභාවට ද ප්‍රාදේශීය සභාවට ද ඒ ක්‍රමයම භාවිතා වුණා)
මේ ක්‍රමයෙන් 1977 දී එක්සත් ජාතික පක්ෂය ලබාගත්තා වැනි දැවැන්ත බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය වීම වැළැකී ගියා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියයට 35ක් ඡන්ද ලබාගත්ත ද මන්ත්‍රීධූර අටකට සීමා වීම වැනි ජනතා කැමැත්ත ඉස්මතු නොවීමේ අවස්ථා මග හැරී ගියා.
නමුත් විපක්ෂය හැමදාමත් මේ ක්‍රමයට චෝදනා කළා. මනාප ලබා ගැනීමට අපේක්ෂකයන් අතර ම තරඟයක් නිර්මාණය වීම නිසා ජනතාව ද මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගැන නොසිතා මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න වුණා. ඒ අනුව සමානුපාතික ක්‍රමය වෙනස් කර නැවත කේවල මැතිවරණ ක්‍රමයකට යා යුතු යැයි විශාල හඬක් නැගෙන්නට වුණා.
- වජිර අබේවර්ධන