Pages

17 April 2020

රනිල්ගේ යුද්ධය

යම්කිසි දිනෙක ප්‍රභාකරන්ට කුමක් හෝ සිදුවුවහොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉදිරියට රැගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යන්තර කොටි ජාලය තුළ එවකට සාකච්ඡා ආරම්භ කොට තිබුනි. මෙම සාකච්ඡාවලදී සියල්ලන්ම කතාබහ කල මාතෘකාවක් වී තිබුනේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහයන් පරාජය කරවීමට ප්‍රභාකරන් ගත් තීරණයයි.

“එතැනදී ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?”

සමහරුන් එසේ ප්‍රශ්න කරනා විට කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කලේ වෙනම විග්‍රහයකි.

“නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය හමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල අපේ සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවී තියෙන්නේ භූමිය සහ අපේ නායකයෝ කිහිප දෙනෙක් පමණි. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කාගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට මෙලෙස තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක…”

ඒ ඔවුන්ගේ විග්‍රහයය.

“ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ රනිල්ගේ විරුද්ධවාදීන් කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…”

අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණේ ඔවැනි කථාවකි.

ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. නමුත් ප්‍රභාකරන් ඔහු මිය යන තෙක්ම පැවසූයේ ඔහුව විනාශ ක‍ර දැමූයේ රනිල් වික්‍රමසිංහන් බවය.

“ඇයි එහෙම හිතන්නේ”

රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුවත් කොටි නායක ප්‍රභාකරන් රනිල් වික්‍රමසිංහයන් පිළිබදව හොඳ හැටි දැන තිබුනි.

“රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා ගැන දන්නේ 1990 ප්‍රේමදාස සමග සාකච්ඡා කරන කාලෙ ඉඳන්. රණසිංහ ප්‍රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල් වි‍ක්‍රමසිංහ. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා…”

මේ කොටි න්‍යායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි.

බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්‍ෂක විශ්ලේෂකයෙකි.

“අරගෙන කියවන්න ශ්‍රී ලංකාවේ යුධ හමුදාවට පනස් වසරක් සපිරෙන විට යුධ හමුදාව ගැන හමුදාව විසින්ම ප්‍රකාශයට පත් කළ 50th Anniversary of Sri Lanka Army යන පොත. ඒ පොතේ ඩී. ඇස්. සේනානායක මහතා හමුදාව හැදුවාට පසු හමුදාව තුල විශාල වෙනසක් සිදු කල එකම එක දේශපාලනඥයෙක්ගේ නමක් තිබුනි. ඒ ගරු රනිල් වික්‍රමසිංහයන්ගේ නමයි. ඒ පොතෙහි ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රනිල් වික්‍රමසිංහයන්ට ස්තූති කර තිබුනි. ඒ ඔහු යුධ හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම සදහා ඉටු කළ සේවාව ඇගයීමටය.
       හමුදාවට වසර පනහක් සපිරෙන විට හමුදාව විසින් ප්‍රකාශයට පත් කළ පොතෙහි රනිල් වික්‍රමසිංහයන්ට ස්තූති කර තිබෙන බව යූ.එන්.පී. කාරයන් තියා රනිල් වික්‍රමසිංහයන්වත් දැන සිටියේ නැත. එහෙත් කොටි නායක ප්‍රභාකරන් කෙසේ හෝ එය හොදින් දැන තිබුනි. එම පොත ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1998 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ පොදු පෙරමුණු ආණ්ඩු සමයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහයන්ට කොටියා කියලා මඩ ගහන කාලයේය. එකල සිටියේ චන්ද්‍රිකා විසින් පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්‍ෂක ලේකම්වරයෙකි. එවකට රනිල් වික්‍රමසිංහයන් සිටියේ විපක්ෂනායක තනතුරේය. එහෙත් හමුදාව විසින් ඒ පොතෙහි රනිල් වික්‍රමසිංහයන්ගේ සේවය අගය කළේ මෙලෙසය.

“හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අති මහත් වූ සහාය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…”

                 50th Anniversary of Sri LAnka Army
                 පිටු අංක - 503
                 ශ්‍රී ලංකා යුධ හමුදාව

මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ වික්‍රමසිංහයන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සහය ඇතිව පුහුණු කිරීම, කැළෑබද ප්‍රදේශ වල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීම, රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දිගු දුර විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයින් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි.

මේවා පොත්වල තිබුණාට වඩා ඉතා හොදින් ප්‍රභාකරන් සහ බාලසිංහම්ගේ හිත්වල තැන්පත් වී තිබුණි.

“සටන් විරාම කාල සීමාව තුළ රනිල් වික්‍රමසිංගේ ආණ්ඩුව විසින් රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්ෂක ගිවිසුම් අත්සන් කළා. මේ නිසා සටන් විරාමයෙන් අපේ කොටි සංවිධානය දුර්වල වුණා…”

                   වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරුදින කතාව
                   ටැමිල්නෙට්
                   2008.11.27

2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහයන් පරාජය කල පසු සෑම මහ විරු දින කතාවකදීම කොටි නායක ප්‍රභාකරන් විසින් රනිල් වික්‍රමසිංහයන් පරාජය කරවීම සදහා තමන් විසින් ගත් තීරණය නිවැරදි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යුධ හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගත්තා යැයි
චෝදනා කරමින් ය. අන්ත පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් වික්‍රමසිංහ බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි.

සටන් විරාම කාලය තුල රනිල් වික්‍රමසිංහයන් යුධ හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන චෝදනාව නිවැරදිය. රනිල් වික්‍රමසිංහ මහතා 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්‍ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්‍රන්ථයේ සඳහන් කර තිබුනේ මෙසේය.

“මා ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට යුධ හමුදාවේ පුහුණුවීම් කටයුතු සඳහා වෙඩි තැබීමට උණ්ඩවත් නොතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා මහතා සාක්‍ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…”

                                               ඔස්ටින් ප්‍රනාන්දු
                                               පිටු අංක – 143
                                               මයි බේලි ඊස් වයිට්

එපමණක්ද නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය විසින් අල්ලාගෙන යුධ හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක පමණි.

        චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසින් රනිල් වික්‍රමසිංහයන් බලයට ඒමට පෙර සරන් විරාම ගිවිසුම සකස්කර තිබුනි. ඔවුන් එදා එය සකස් කලේ රටේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කිරීම සදහා මුදල් නොමැතිකමත්, කොයි මොහොතක හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ ලක්ෂ්මන් කදිරගාමර්
මහතා සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් වික්‍රමසිංහයන් සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමාට යුද්ධ කිරීමට නොහැකිවන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බැඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ශක්තිමත්ව ගොඩනැගීම සදහා කටයුතු කල බව වේළිපිල්ලේ ප්‍රභාකරන් ඉතා හොදින් අවබෝධ කර ගත්තේය.

ප්‍රභාකරන් 2003 අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය.

ඒ වනවිට රනිල් වික්‍රමසිංහයන් විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම සහ ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති ජෝජ් බුෂ් හමුවී ශ්‍රී ලංකා හමුදාව ශක්තිමත් කිරීම සදහා උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්‍ෂක ලේකම් පීටර් රොඩ්මාන් ශ්‍රී ලංකාවට එව්වේය. 2002 නොවැම්බර් 22 එම වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්‍රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්‍ෂක යුධ නැවක් තෑගි ලැබුණි. 2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුයේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පැවසූ බව එකල පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්‍යන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල් වික්‍රමසිංහයන්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කිරීමට පටන් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් වික්‍රමසිංහයන් ඉන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමටත් ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කිරීමට සාකච්ඡා කළේය. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ආරක්‍ෂක උපකරණ දීමට සහ හමුදා පුහුණුව කරදීමට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. යුධ සමයේදී එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධය සදහා උදව් කරනවා යැයි ඉන්දියානු රජයට චෝදනා නැගූයේ රනිල් වික්‍රමසිංහයන් වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා එවකට ක්‍රියාත්මක වූ නිසාය.

එසේම බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහාය ශ්‍රී ලංකා යුධ හමුදාව ශක්තිමත් කිරීම සදහා යොදවා ගැනීමට අවසර පැතූ රනිල් වික්‍රමසිංහයන් හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ එයින් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී ජෝජ් බුෂ් සහ රනිල් වික්‍රමසිංහයන් හමු වූ විට පැවැත්වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුධ ආධාර ලැබෙන ආරක්‍ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් වික්‍රමසිංහයන් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 2003 නොවැම්බරයේ ආරක්ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ පිළිබදව සාකච්ඡා කළේවත් නැත.

මෙම යුධ ආධාර සහ ආරක්‍ෂක ගිවිසුම් නතර කිරීම සදහා ප්‍රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ආරක්‍ෂක අමාත්‍යාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් වික්‍රමසිංහයන් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය.

කොටි නායක වේළිපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් වික්‍රමසිංහයන්ට යලිත් ශ්‍රී ලංකාවේ රජ කිරීමට ඉඩ නොදෙනා බව එල්.ටී.ටී.ඊ ය දරුණු පරාජයකට ඇද වැටී     සිටින අවස්ථාවේ පවා 2005 රනිල් වික්‍රමසිංහයන් පරාජය කරවීමට ඔවුන් විසින් ගත් තීරණය  නිවැරදියැයි පැවසීමෙන් මනාව පැහැදිලි වේ.

*  යුධ හමුදාව තුල ඇදහිය නොහැකි ලෙස විශාලම 
    ප්‍රතිසංස්කරණයක් සිදු කොට ඕනෑම යුද්ධයකට
    මුහුණදිය හැකි ප්‍රභල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා
    යුධ හමුදාව පත් කර දුන්නේ රනිල් වික්‍රමසිංහයන්ය.

*  කොටි සංවිධානය දෙකඩ කර දමමින් ඔවුන්ගේ
   මානව ශක්තිය ඇතුලු සියල්ල ඔවුනට අහිමි කර
   ඉතා දුර්වල සංවිධානයක් බවට කොටි සංවිධානය
   පත් කලේ රනිල් වික්‍රමසිංහයන්‍ විසිනි.
               
*  බලයට පත්වූ සැනින් ‍යුරෝපා රටවල් තුල කොටි
   තහනම ඇතිකොට ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායමක්
   ලෙස ජාත්‍යන්තරයට ගෙනයාමට මංඑළ විවර කර
   දුන්නේ රනිල් වික්‍ර‍මසිංහයන් විසිනි.
   
*  යුධ සමයේදී මුහුදු ප්‍රදේශයේ සිය අණසක පතුරුවා
   කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ රැගත් නැව්
   සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලු මහත් මුහුදු
   ප්‍රදේශයම අත් පත් කරගත් "සමුදුර නෞකාව"
   ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගත්තේ රනිල්
   වික්‍රමසිංහයන්‍ විසිනි.   

*  යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව
   වූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලකාය
  (Sri Lanka National Guard)  යුධ හමුදාවට
   නිර්මාණය කර දුන්නේ රනිල් වික්‍රමසිංහයන් විසිනි.

* කොටි ත්‍රස්ථවාදින් බියෙන් සසල කල යුධ හමුදාව සතු
   වටිනාම ඒකකයක් වූ දිගුදුර විහිදුම් බලකාය
   (Long Range Reconnaissance) ශ්‍රී ලංකා
   යුධ හමුදාවට නිර්මාණය කර දුන්නේද රනිල් 
   වික්‍රමසිංහයන් විසිනි.

මේවා රටේ ජනතාව නොදැන සිටි නමුත් කොටිනායක වේළිපිල්ලේ ප්‍රභාකරන් මේ සියල්ල ඉතා හොදින් දැන සිටියේය. කෙසේ වුවද යුධ ජයග්‍රහණය කවුරුන් කෙසේ කාගේ ගිණුමට තනිව බැර කර ගත්තද කම් නැත. මක්නිසාදයත් රනිල් වික්‍රමසිංහයන් තමා රට වෙනුවෙන් කල සේවයෙන් බිදුවක්වත් තමාගේ ගිණුමට බැර කරගැනීමට කිසිදු තැත් කිරීමක් නොකරන බැවිනි. නමුත් දේශ ප්‍රේමීන්යයි කියාගන්නා කුහක දේශද්‍රෝහීන් පිරිසක් විසින් යට ගසා තිබෙන පරම පිවිතුරු වූ සත්‍යය රටේ ජනතාව විසින් දැන ගත යුතුමය.
                             
                                         - ස්තූතියි -

තුෂාරී ඉනෝකා දර්ශිනී ඒකනායක
2018/02/27

https://www.facebook.com/112407257054468/posts/124613702500490/?d=n